FAST NEWS

24×7 Around the Globe

ශලීල මුණසිංහ 25 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට..

තායිවානයේ ෆා- ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශලීල මුණසිංහ මේ මස 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

තායිවානයේ ෆා- ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 60 කට ආසන්න මුදලක් වෙනත් ගිණුම්වලට හුවමාරු කර තිබු අතර ඉන් ඩොලර් මිලියන 1.3 ක් ස්විෆ්ට් ජාත්‍යන්තර මුල්‍ය හුවමාරු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.

එලෙස හුවමාරු කෙරුණු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් මෙරට රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන පෞද්ගලික ගිණුමක තිබී හමුවීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ෂලීල මුණසිංහ ඊයේ (10) අත්අඩංගුවට පත්විය.

ඒ, ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරවීමෙන් අනතුරුවය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

(DE සිල්වා)