පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කළ නුවන් ඉන්දික සල්ගාදු, සචිත් මධුසංක දේවතන්ත්‍රි යන අයට විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය.
මහ බැංකුව විසින් නිකුත් කළ බැඳුම්කරවලට අදාළ දුරකතන දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව එම දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාල සීමාවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට නිකුත් කළ මහ බැංකු බැඳුම්කරවලට අදාළ දුරකතන සංවාද දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බවත් ,පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණික නිලධාරීන් වශයෙන් කටයුතු කළ නුවන් ඉන්දික සල්ගාදු, සචිත් මධුසංක දේවතන්ත්‍රි යන දෙදෙනා විසින් දුරකතන සංවාද දත්ත මකා දැමීම සහ භාරයේ තබා ගැනීම සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි අතර විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන තෙක් නඩුව බහා නවතනු ලැබිණි.
(DE සිල්වා)