ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් කඳවුරුවල රඳවා සිටි සරණාගතයන් පිරිස නැවත පදිංචි කිරීමේ ගිවිසුමක් යටතේ පැපුවා නිව් ගිනීයා සහ නාවුරු යන මධ්‍යස්ථානවල ජිවත් වුණු පුද්ගලයන් 50 දෙනකු පමණ ඇමරිකාව වෙත රැගෙන යන බව ඕස්ට්‍රේලියා රජය තහවුරු කර ඇත. ගිවිසුම යටතේ එක්සත් ජනපදය වෙත පිටත් වන පළමු සරණාගත කණ්ඩායම මෙම පිරිස වේ.
2016 ජනපති බරක් ඔබාමා පාලන සමය තුල මුල පිරූ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් කඳවුරුවල රඳවා සිටි සරණාගතයන් පිරිසක් එක්සත් ජනපදය තුල නැවත පදිංචි කිරීමේ ගිවිසුම අනුව, සරණාගතයන් 1250 දෙනකු බාර ගැනීමට ඔවුන් එකඟතාව පල කර තිබුණි.
ගිවිසුම යටතේ පළමු සරණාගත කණ්ඩායම ඉදිරි සති කිහිපය තුලදී රැඳවුම් මධ්‍යස්ථානවලින් පිටත් වනු ඇතැයි ආගමන විගමන කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් තහවුරු කරයි. අනෙකුත් රැඳවියන් පිළිබඳ තීරණ ද එළැඹෙන දිනවලදී දැනගැනීමට හැකිවනු ඇති බව වැඩිදුරටත් ඔහු පවසා ඇත.
පුද්ගලයන් සුළු ප්‍රමාණයකට පමණක් එක්සත් ජනපදයෙන් ලියකියවිලි ලැබී ඇතැයි සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම පවසයි.ඇමරිකාව පිළිගත් සරණාගතයන් අතරට සුඩාන ජාතිකයන් තිදෙනෙක් ඇතුලත් බව සරණාගතයන්ගේ ක්‍රියාකාරී සංවිධානය ප්‍රකාශ කර ඇත. ඔවුන් මෙම සති අන්තයේදී මධ්‍යස්ථානයෙන් පිටත්ව යනු ඇති බවත් එළැඹෙන සතියේදී ඇමරිකාව වෙත ළඟා වනු ඇති බවත් එම සංවිධානය පවසයි.
ඕස්ට්‍රේලියා රැඳවුම් කඳවුරුවල සිටි සරණාගතයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නැවත පදිංචි කිරීමේ ගිවිසුමේ කොටසක් ලෙස එහි යාම තහවුරු වූ මනුස් හා නාවුරු දුපත්වල සරණාගතයින් පළමු පිරිසට සිය සුබපැතුම් පිරිනමන බව ඕස්ට්‍රේලියා ලේබර් පක්ෂය කියයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සරණාගතයින් නැවත පදිංචි කිරීමේ ගිවිසුම හා එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ කාර්යාලයේ මෙහෙය අනුමත කරන කම්කරු පක්ෂය ගිවිසුමට දැඩි ලෙස සහාය දෙන බවද කියා සිටීයි.









