FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයින්ට වැටුප් වැඩි කෙරේ – විදුලි වර්ජනය තවදුරටත්…

වැටුප් විෂමතා ඉවත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගගලයන්ට දඬුවම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 13 වැනිදා ආරම්භ කළ විදුලි සේවක වැඩ වර්ජනය අද (20) අටවැනි දිනටත් ක්‍රියාත්මක කෙරන බව විදුලි බල වෘත්තිය සමීති සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම වර්ජනයට විසඳුම් ලෙස ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලුම සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට විදුලිබල මණ්ඩලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (19) රාත්‍රියේ තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සීයයට 13 ක වැටුප් වැඩිවීමක් සහ තාක්ෂණික නොවන සේවාවන්ට සීයයට 6 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවද එම අමත්‍යාංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දහවල් 12.00ට ප්‍රථම සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් හෙට(21) දින දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමයේ සභාපති සාගර ලක්මාල් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

කිසිදු විදුලි සේවකයෙකු හට අසාධාරණයක් නොවන පරිදි මෙම සටන ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)