FAST NEWS

24×7 Around the Globe

2018 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය..

2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනයට් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය ඇස්තමේන්තුවද එම යෝජනාවට ඇතුලත් කර තිබේ.

එ අනුව ලබන මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කොට ඇති බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

මේ අතර 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් මස 09 වැනි දින පැවැත්වෙන අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි කියවීමේ විවාදය නොවැම්බර් මස 10,11,12,13,14 සහ 15 යන දිනයන්හීදී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

එහි කාරක සභා විවාදය නොවැම්බර් මස 16 වන දින ආරම්භ වී දෙසැම්බර් මස 9 වන දා දක්වා පැවැත්වීමටත් විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 9 වන දින පස්වරුවේදී සිදු කිරීමටත් නියමිතය.

(DE සිල්වා)