ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා විදුලි බලාගාර, වැඩ බිම් වසා දමා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයෝ ඉදිරි දින කිහිපය ඇතුළත අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම්ව සිටින බව විදුලි වෘත්තීය සමිති පවසයි.
එ අනුව එහි පළමු පියවර ලෙස විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන් ලබන 13 වෙනිදා දහවල් 12 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් එම වෘත්තය සමීති පවසයි.
එසේම සිය ඉල්ලීම්වලට උත්තර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එතැන් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳ තීන්දුව විදුලි බල මණ්ඩලයේ විදුලි සේවක සංගමය, ලං.වි.ම. ගණකාධිකාරී සංගමය ඇතුළු ප්‍රබල පෙළේ වෘත්තීය සමිති 33ක් එක්ව ගෙන තිබේ.
විදුලි සේවකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 2000ක් අස්ථාන ගත වීම, වෘත්තීය සමිති මර්දනය, විදුලි පාරිභෝගික ජනතාව මත අසාධාරණ ලෙස බර පැටවීම, විදුලිබල මණ්ඩලයට එන්වීකියු පදනමින් වහලුන් ලෙස සේවයට පිරිස් බඳවා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද එම සන්ධානය පෙන්වා දෙයි.
අදාළ වැඩ වර්ජනය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් ඇතුළු තවත් අපහසුතාවයන් ගණනාවක් ඇති විය හැකි බවත්, ජනතාවට මෙහිදී සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් වගකීම, සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු නොකර, සේවකයන් මර්දනය කිරීමට කටයුතු කරන ලං.වි.ම. පාලනාධිකාරිය සහ ආණ්ඩුව විසින් බාරගත යුතු බවද එම වෘත්තිය සමීති සන්ධානය වැඩි දුරටත් පෙන්වා දෙයි.
(DE සිල්වා)