FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගනුදෙනුවලින් 400%ක ලාභයක් ලැබු බව පලි කියයි..

2014 වර්ෂය මුල සිට මහ බැංකුවේ ප්‍රශ්න ගත බැඳුම්කර වෙන්දේසිය සිදුවූ 2015 පෙබරවාරි මාසය දක්‌වා කාලසීමාව තුළ අර්ජුන් ඇලෝසියස්‌ මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගම කළ බැඳුම්කර ගනුදෙනුවලින් 400%ක ලාභයක්‌ සමාගමට උපයා ගැනීමට හැකි වූ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා ඊයේ (08) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

සමාගම එතරම් විශාල ලාභයක්‌ ලැබුවේ ප්‍රාථමික වෙළෙඳපොළේ නොව ද්විතීය වෙළෙඳපොළේ දී කළ බැඳුම්කර මිලදී ගැනීම් සහ අලෙවි කිරීම් මගින් බවත් හෙතෙම සඳහන් කළේය.

වෙළෙඳපොළේ එදිනෙදා තත්ත්වය මැනවින් අධ්‍යයනය කොට එම කටයුත්ත ඥනාන්විතව මෙහෙයවීම නිසා ප්‍රාග්ධනය රුපියල් මිලියන 301.05 කින් ආරම්භ කළ සමාගමේ ප්‍රාග්ධන තත්ත්වය රුපියල් බිලියන 1.5 ක්‌ දක්‌වා වැඩි වූ බවත් පලිසේන මහතා කොමීසමට පැවසීය..

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සෑම මසකම ලැබූ ලාභ හා සමාගමේ ප්‍රාග්ධන තත්ත්වය ක්‍රමයෙන් වැඩි වූ ආකාරය කොමිසමට විස්‌තර කළ පලිසේන මහතා එම තොරතුරු ඇතුළත් කොට සකස්‌ කරන ලද ලේඛනයක්‌ ද කොමිසමට ඉදිරිපත් කළේය.

එසේම එම විස්‌තර මාස්‌පතා මහ බැංකුවට ඉදිරිපත් කළ බව ද හෙතෙම පැවසීය.

(DE සිල්වා)