FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය නිසා උත්සව රැස්වීම් ඉදිකිරීම් ආදී සියල්ල තහනම් කෙරේ..

අනිද්දා (08) ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග වංචා සහ වෙනත් අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ විභාග ශාලාවක් තුළ හෝ ඉන් පිටත එවැනි කිසියම් වංචාවක් හෝ අක‍්‍රමිකතාවක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසයි.

පැමිණිලි භාර ගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකයද, පාසල් විභාග සංවිධාන ශාඛාවේ සියලු දුරකතන අංක ද විවෘතව තිබේ.

විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ තමන් වෙත ලැබෙන සෑම පැමිණිල්ලක්ම විධිමත් ලෙස විමර්ශනය කරන බවයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට බාහිර පාර්ශ්වයන්ගෙන් අවහිරතා ඇතිවීම වළක්වාලීමට ද විශේෂ අවධානය යොමු කර තිබෙන බවයි.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශාලාධිපතිවරුන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයට සහ අයදුම්කරුවන්ට හැර වෙනත් කිසිවෙකුට විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීම තහනම් වනු ඇති.

විභාග මධ්‍යස්ථාන පිහිටි පරිශ‍්‍රවල පංති පැවැත්වීම, ක‍්‍රීඩා තරග හෝ වෙනත් තරග පැවැත්වීම, උත්සව පැවැත්වීම හෝ රැස්වීම් පැවැත්වීම ද ඉදිකිරීම් සිදු කිරීම ද තහනම් වෙයි.

මීට අමතරව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ අයදුම්කරුවන්ට බාධා වන කිසියම් ක‍්‍රියාවක් ඇත්නම් ඒ පිළිබඳ වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන්ට ද උපදෙස් දී තිබෙන බවයි.