FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනතට ජනපති අත්සන් තබයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) දිනයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

“රට ඇතුළේ ඉන්න අය අපි රට විකුණුවා කියනවා. අපි කිසිදෙයක් කරලා නැහැ කියලා රටින් පිට ඉන්න අය කියනවා. එහෙත් අපි කරපු දේවල් ගැන කවුරුවත් කියන්නේ නැහැ.අපි සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම, සංහිඳියා ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ ආදී පනත සම්මත කිරීම වැනි බොහෝ දේ කර තිබෙනවා. මේ කාර්යාලයෙන් 71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් සොයා බලනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියලා වෙනසක් නැහැ. මේ කාර්යාලය ඔස්සේ සීමිත කාලයක් ගැන විතරක් බලන්නේ නැහැ. සිංහල කැරැලි ආදී සියල්ල ගැන සොයා බලනවා. “

“පනතේ සංශෝධන කිහිපයක් කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. “

“මේ කාර්යාලය ස්වාධීන කාර්යාලයක්. ඒ කාලේ වැරැදි කරපු අද බොරුවට කෑගහනවා. ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. එහෙත් ඇත්ත මොකක්ද කියා සොයා බැලිය යුතු” යැයි විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ අගෝස්තු 11 වැනි දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ අතර එම මස අගෝස්තු 23 කතානායක කරු ජයසූරිය මහතා එම පනතට අත්සන් තැබීය.

(DE සිල්වා)