FAST NEWS

24×7 Around the Globe

02 වැනිදා සිට උසස්‌ පෙළ විභාග උපකාරක පන්ති තහනම්..

අගෝස්‌තු මස 8 වැනිදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට අදාළ සියලු ආකාරයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ ඇතුළු ක්‍රියාකාරකම් ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක්‌ තහනම් කෙරෙන බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ජාතික විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සියලු උපකාරක කටයුතු තහනම් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනයට අනුව පැවරී ඇති බලතල මත විභාග දෙපාර්තමේන්තුව මෙම තහනම ක්‍රියාත්මක කරන අතර තහනම කඩකරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම දෙපාර්තුමේන්තුව පවසයි.

එම ගැසට්‌ නිවේදනයට අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම ඇතුළු කටයුතු සපුරා තහනම් වෙයි.

තහනම කඩකරන්නන් සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානයට (0112421111) විභාග දෙපාර්තමේන්තුවට (0112785211, 0112785212, 1911) හෝ ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට පැමිණිලි කළ හැකිය.

(DE සිල්වා)