FAST NEWS

24×7 Around the Globe

පළමුවන ශ්‍රේණියට අයැදුම්පත් භාර ගැනීමේ කාලය දිර්ඝ කෙරේ..

2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2017 ජුලි 10 දින දක්වා දීර්ඝ කිරීමට තීරණට කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

මෙහි අවසන් දිනය 2017 ජූනි 30 වෙනිදා ලෙස සඳහන් කර තිබු නමුත් ජනතා ඉල්ලීම් මත එම දිනය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

කෙසේ වෙතත් මේ වන විට තම අයැදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන් තමන් විසින් සහතික කරන ලද අයැදුම්පතෙහි පිටපතක් අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබා ගන්නා ලෙස වැඩි දුරටත් එම අමාත්‍යාංශ අවධාරණය කර සිටියි.

එසේ පාසල් වෙත අතින් භාර දෙන ලද අයැදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් “ලද බවට” ලිපියක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් ද දැනුවත් කරන බව එම නිවේදනයේ සඳහන්.

තවද මේ වන විට තැපෑලට යොමු කර ඇති අයැදුම්පත් යම් හෙයකින් 2017-06-30 දින පසු වී පාසල් වෙත යොමු වුව ද එම අයදුම්පත් ද භාර ගැනීමට  විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

(DE සිල්වා)