FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු පිළිබඳව පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ..

ඩෙංගු රෝගීන් පිළිබඳව  දෛනිකව වාර්තාවක් සැකසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

මෙම පංච පුද්ගල කමිටු වාර්තාව දිනපතාම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීමට නියමිත බවත් එම කමිටුව සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු, කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම, ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය උපුල් ගුණසේකර මහතාව ඇතුළත් කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

මේ වන විට රට පුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63,983 දෙනෙකු වන අතර මියගිය සංඛ්‍යාව 200ක් පමණ වන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

මේ තත්ත්වය ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බැවින් ඉදිරියේදී කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පසුගියදා රට තුළ ප්‍රදේශ ගණනාවක ඇති වූ ආපදා තත්ත්වයත් සමග ඩෙංගු වසංගතය තවදුරටත් ඉහළ යා හැකි බැවින් කැළි කසළ ඉවත් කිරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට තීරණය කළ බව ඇමැතිවරයා අවධාරණය කරයි.