FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ප්‍රමාදය ගැන ජයම්පති පහදයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ වැඩ අවසන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇතිව තිබේ නම් එයට හේතුව කුඩා පක්ෂවල අදහස් පවා සැලකිල්ලට ගනිමින්…වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් කටයුතු කිරීම බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන තාක්ෂණික කමිටු සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 50 වාරයකට වඩා රැස්වී ඇති අතර අනු කමිටු හයේ වාර්තාද ලබාගෙන අවසන් බවත් තම අදහස් ඇතුළත් වී නැති බව පවසන කමිටු සාමාජිකයන්ට ලිඛිතව කරුණු දැක්වීමේ අවස්ථාවද ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කෙළේය.

72′ ව්‍යවස්ථාව ගෙන ආවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව වන අතර 77′ ව්‍යවස්ථාව සම්මත කරන අවස්ථාවේ එජාපයට හයෙන් පහක බලයක් තිබූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

උදාහරණයක් වශයෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් ඇති මූල්‍ය කටයුතු අනු කමිටුවේ වාර්තාව ඒකමතිකව සම්මත කොට ඉදිරිපත් කර තිබෙන බවත් නොපමාව අවසන් කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකිවන අතර රටේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.