රථවාහන රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි සුමිත් නිස්සංක මහතා ඊයේ (11 දා) වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
මෙම නීතිය හයිලෙවල් පාර, ගාලු පාර, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පංචිකාවත්ත, බේස්ලයින්, සංඝරාජ මාවත ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග සහ දිවයිනේ අනෙකුත් නගර ආශ්රිත ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.
මෙම නීතිය කඩකරන අයට දඩ පත්‍රිකාවක් දීම, අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ උපදෙස් පන්තිවලට සහභාගි කරවීම යන ඕනෑම ආවරණයකට මුහුණදීමට සිදුවිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.
වාහන ධාවනයේදී වාහනයක පසුපස අනෙක් වාහනය ධාවනය කළයුතු බවත්, මංතීරු දෙකක එකම දිසාවට වාහනය ධාවනය කරන්නේ නම් පසුපසින් පැමිණෙන වාහනවලට බාධාවක් නොවන්නේ නම් පමණක් මංතීරු මාරු කිරීමේ හැකියාව රියෑදුරාට පවතින බවත් නිස්සංක මහතා කීය.
මංතීරු නීතිය කඩකරන රියෑදුරන්ට එරෙහිව පොලිස් ස්ථාන මගින් පොලිස් නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීම, සී. සී. ටී. වී. දර්ශන උපයෝගි කරගැනීම වැනි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(DE සිල්වා)