FAST NEWS

24×7 Around the Globe

දිවයිනට බලපා ඇති ගං වතුර අවදානම තවදුරටත්..

දිවයිනට බලපා ඇති ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවත්, ඇතැම් ප්‍රදේශ වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රියන්කර උදයසිරිවර්ධන මහතා පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වයද එලෙසම පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ගාල්ල මාපලගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින්  පවතින බැවින් එම ප්‍රදේශයේ  ජනතාව මුදාගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතින බව සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

පාලින්ද නුවර, බුලත්සිංහල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කළුතර, පලාතොට හරහා නාගොඩ මාර්ගය ද මේ වන විට ජලයෙන් යටවී ඇති බව කළුතර  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවැසීය.

කළුතර මෝය කට ජලය බැසයාම සඳහා පුළුල් කිරිමේ කටයුතු ද අද(27) දිනයේ  සිදුකරන බව මෙම මධ්‍යස්ථානය කියා සිටියි.

මේ අතර කඩුවෙල ප්‍රදේශයේ කඩුවෙල , වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ කඩුවෙල , රණාල, නවගමුව, බෝපිටිය, බෝමිරිය, මහදෙණිය, ගලිගමුව, හෝකන්ද දකුණ ආදී ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි.

කඩුවෙල ප්‍රදේශයේ පවුල් 690කට අයත් පුද්ගලයින් 2834 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 05ක රඳවා ඇති බව දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

වැල්ලම්පිටිය, සිංහපුර, සේදවත්ත, ඓගොඩ කොලොන්නාව යන ප්‍රදේශ වලටද ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම ප්‍රදේශයේ පවුල් 104කට අයත් පුද්ගලයින් 584 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ජල මට්ටම  සුළු පහල යාමක් පෙන්නුම් කරන බව රත්නපුර දිස්ත්‍රීක් ලේකම් මාලනී ලොකුහෝතාගම මහත්මිය කියා සිටියාය.