FAST NEWS

24×7 Around the Globe

ඉන්දිරා ගාන්ධි එල්.ටී.ටී.ඊ.යට සහාය දුන් හැටි කේ.පී හෙළි කරයි..

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සහය වන්නැයි ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් ඉල්ලු බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වූ ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක් වෙමීන් සඳහන් කර තිබේ.

එ අනුව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස මෙරට යුද ගැටුමට මැදිහත්වීම ආරම්භ වූයේ එතැන් සිට බවත් කේ.පී පවසා ඇත.

එසේම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආයුධ මිලදී ගැනීමට වැයකළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මරුදර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. විසින් ලබාදුන් බවද ඔහු සඳහන් කර තිබේ.

එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට සංවිධානය එවක කටයුතු කළ බවත් එම අවි ආයුධ දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වූ බවත්, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇස්වලට වැලි ගසා එම අවි ගෙන ඒම සැබවින්ම අභියෝගයක්ව නොපැවති බවත් ඔහු පවසා පෙන්වා දී ඇත.

අමෙරිකා එක්සත් ජනපද හමුදා ඇතුළු බටහිර රටවල හමුදාවන්ද තම සංවිධානයේ වර්ධනයට අවස්ථාව උදා කළ බව ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

වයස අවුරුදු 12-13 ක කාලයේදී ළමා සොල්දාදුවන් ලෙස ද්‍රවිඩ ළමුන් සංවිධානයට බඳවා ගනු ලැබුවේ ඔවුන්ගේම කැමැත්තෙන් බවත්, එහෙත් පසුකාලීනව ඔවුන් බඳවා ගනු ලැබුවේ බලහත්කාරයෙන් බවත් කේ.පී  මෙහිදි සිහිපත් කර ඇත.

(ADS)