FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම මහ ඇමති පුටුව එජාපයෙන් ඉල්ලයි..

මේ වන විට මධ්‍යම පළාත් සභාවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පක්ෂයට එහි මහ ඇමැති ධුරය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීම සඳහා සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඊයේ (14) භාර දීඇති බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගය පවසයි.

මහනුවර, මාත‍ලේ, හා නුවරඑළිය, යන දිස්ත්‍රික්ක ඇතුළත් මධ්‍යම පළාත් සභාවේ මුළු සභික ධුර සංඛ්‍යාව 58 ක් වන අතර ඉන් මන්ත්‍රී ධුර 40 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබුණි.

පසුගිය  2015 ජනවාරි 8දායින් පසු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හය දෙනා සහ පළාත් සභා මන්ත්‍රී ආර්.ජී.සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම හේතුවෙන් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම 33 දක්වා පහත වැටිණ.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ මේ වන විට පළාත් සභා මන්ත්‍රීවරුන් 9 දෙනකු ස්වාධීන වීමත් සමග පාලන බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංඛ්‍යාව 24 තෙක් පහත වැටී ඇති අතර මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25කි.

වසර දෙකකට අධික කාලයක් වත්මන් මහ ඇමැතිවරයාට තම කණ්ඩායම සහයෝගය දුන්න ද ප්‍රධාන අමාත්‍යවරයා දිගින් දිගට ම තම තනි මතයට ක්‍රියාකරන හෙයින් ඇමති ධුරය ඉල්ලා සිටින බවද මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)