FAST NEWS

24×7 Around the Globe

වෘත්තිය සමීති සීයයකට වඩා අද වර්ජනයේ…

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.

දීප ව්‍යාප්තව පවත්වන මෙම එක්‌දින වර්ජනයට පසුවද තම ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා ලබන අඟහරුවාදා (09දා) දින නියම කරන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

රෝගී ජීවිත අනතුරේ හෙළන සයිටම් ආයතනය පූර්ණ ලෙස ජනසතු කිරීම, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ යෝජනාව හකුළා ගැනීම, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව ඉට්‌කා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම වැළැක්‌වීම යන ඉල්ලීම් වහා ඉටු කළ යුතු බව වර්ජකයන්ගේ ඉල්ලීම් වේ.

මෙම ඒකාබද්ධ වැඩ වර්ජනයට සහාය දක්‌වමින් ගුරුවරුන් අද ලෙඩ නිවාඩු දමමින් සේවයට වාර්තා නොකිරීමටත්, දුම්රිය නියාමකවරු සේවයෙන් බැහැරව සිට වර්ජනය කිරීමටත් තීරණය කළ බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

ඊට අමතරව හෙදියන්, ඛනිජ තෙල්, විදුලි, ජල හා තැපැල් සේවකයන් ඇතුළු තවත් වෘත්තීය සමිති එකසිය පනහක්‌ පමණ අද වැඩ වර්ජනයට උද්ඝෝෂණය කරමින් සහාය දක්‌වන බවද අඛණ්‌ඩ වැඩ වර්ජනය සඳහා ඔවුන් එක්‌වීමට එකඟ වී ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද වැඩ වර්ජනයට සහාය දක්‌වන බව කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සියලු සරසවි සිසුන් සහ වෛද්‍ය සිසුන් අද දවසේ පන්ති වර්ජනය කරමින් එක්‌දින වැඩ වර්ජනයට සහාය දක්‌වන බවද කීය.

වැඩ වර්ජනය නිසා අද දවසේ ජනතාව අපහසුතාවට පත්වීමේ සම්පූර්ණ වගකීම උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා සහ රජය භාරගත යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

(ADS)