මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගි නොවී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ පැවැති මැයි රැලියට සහභාගි වූ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම ගැන අද (3දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 5 දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත්කිරීම පිළිබඳව තීරණ ගැනීමට නියමිතය.
එමෙන්ම පසුගියදා පැවැති නිදහස් පක්ෂ මැයි රැලියේ සාර්ථකත්වය මෙන්ම රැලිය පැවැත්වීමේදී ඒ සඳහා අඩු දායකත්වයක් දැක්වූ සංවිධායකවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.








