FAST NEWS

24×7 Around the Globe

වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමෙන් වළකින්න – ජනපති

රට බෙදනවා යැයි රට කඩනවා යැයි විදෙස් රටවලට විකුණනවා යැයි ප්‍රකාශ කරන පිරිසට වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමෙන් වළකින මෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

කවුරු කෙසේ මොන චෝදනා කළද තමා කෙරේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බවත් තමා ජනාධිපති පුටුවේ වාඩිවුණේ මෙරට විදේශ බලපෑම්වලින් තොරව ආර්ථික සමෘද්ධිය ඇති කොට මාතෘභූමිය ඉදිරියට ගෙන යාමට බවත් ජනාධිපතිවරයා පැවසීය.

දොන් ජුවන් ධර්මපාලගෙන් පසුව මෙරටේ කොටසක් විදේශයකට ලියාදුන් ඛේදනීය කාරණය ඉතිහාසයට එකතු වූයේ කොළඹ ෆෝට්සිටිය චීනයට සින්නක්කර ලියා දීමෙන් බවද ජනාධිපතිවරයා කීවේය.

එය වෙනස්කර සින්නක්කර යන්න ඉවත්කොට බදු ක්‍රමයට ලබාදුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මෙම වසර දෙකහමාර තුළ කම්කරු ජනතාවට වත්මන් රජය සහන රැසක් ලබාදුන් බවත්, ඉදිරි කාලය තුළ තවත් කම්කරු ජයග්‍රහණ රැසක් ලබාදෙන බවත් පැවසූ ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සාප්පුවල සේවයේ නිරත කාන්තාවන්ටත් දින 84 ක ප්‍රසූත නිවාඩු ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත් සඳහන් කළේ ය.

(ADS)