FAST NEWS

24×7 Around the Globe

තෙල් වර්ජකයින්ගේ තුනට අගමැති නැමෙයි..

ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි 99 ය ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා නොදීමට කටයුතු කිරීම ඇතුළු වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ යෝජනා තුනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවීම නිසා තෙල් සංස්‌ථා වැඩ වර්ජනය ඊයේ (24 වැනිදා) රාත්‍රි අවසන් කිරීමට එම වෘත්තීය සමීති තීරණය කළේය.

තෙල් වෘත්තීය සමිති විසින් චීන වරාය තෙල් ටැංකි 99 ය ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට විරෝධය පළකිරීම, අබලන් තත්ත්වයේ පවතින තෙල් පිරිපහදුව නවීකරණය කිරීම, හම්බන්තොට තෙල් බෙදාහැරීමේ පහසුකම් තෙල් සංස්‌ථාව යටතට ලබාගැනීම යන කරුණු තුන මුල් කරගනිමින් ඊයේ (24 වැනිදා) දිනයේ අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් හා පෙට්‍රොලියම් වායු පිළිබඳ ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා සමඟ ඊයේ (24 වැනිදා) දහවල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක්‌ පැවැතියත් එම සාකච්ඡා අසාර්ථක විය.

එහිදී වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය නතර කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් පොරොන්දුවක්‌ අපේක්‍ෂාවෙන් සිටියත් විෂය භාර ඇමැතිවරයා ඊයේ (24 වැනිදා) රාත්‍රි අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට අවස්‌ථාව ලබා දුන්නේය.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් සහ තමන් වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවේදී වෘත්තීය සමිති කළ ඉල්ලීම් තුනකට අගමැතිවරයා එකඟවීම නිසා වැඩ වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති තීරණය කළේය.

මෙහිදී වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීමට අගමැතිවරයා එකඟ වීමෙන් පසු එම ඉල්ලීම්වලට අදාළව අගමැති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ලිඛිතව එම එකඟතාවය වෘත්තීය සමිතිවලට ලබාදුන් බවද ඇමැතිවරයා පැවසීය.

(ADS)