FAST NEWS

24×7 Around the Globe

අපද්‍රව්‍ය බැහැර කිරීම විශේෂ කර ජනපතිගෙන් ගැසට්ටුවක්..

පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.

මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය කියයි.

මෙම නියෝග ඊයේ (20) මධ්‍යම රාත්‍රී සිට වලංගු වේ.

(ADS)