මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අවතැන්වූ පවුල් 98 ක් සඳහා නිවාස සාදාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම දැනටමත් සාදා නිම කර ඇති නිවාස 60ක් ලබාදීමට කටයුතු කරන බවත්, ඉතිරි නිවාසද කඩිනමින් සාදා දීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.
තවද මෙම නිවාස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගැනීම සඳහා රු.ලක්ෂ දෙක හමාර බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම අනතුරෙන් අවතැන්වූ පවුල් සංඛ්‍යාව 245ක් බවත්, පුද්ගලයින් 1059ක් බවත්, මිය ගිය පිරිස්වල සිරුරු 32ක් හමුවී ඇති බවත්, තුවාල ලැබූවන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, අතුරුදහන් පිරිස 8 දෙනෙකු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
පූර්ණ වශයෙන් නිවාස 79ක් හානියට පත්ව ඇති බව හා අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවන් අවාසනාවන්ත සිදුවීම් යළි සිදුනොවන්නට කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් අමාත්‍යනවරයා මෙහිදි සඳහන් කළේය.
එසේම මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය හෝ අවතැන්වූ පිරිස් වෙත ලබාදෙනු ලබන වන්දිවල සීමා සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරයන් ගෙනයනු දකින්නට ලැබුණත්, එවැනි සීමා සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බව අමාත්‍යවරයා මෙහිදි සිහිපත් කළේය.
(ADS)