FAST NEWS

24×7 Around the Globe

කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් චම්පිකගෙන් මාධ්‍ය නිවේදනයක්..

ලබන මැයි මස පළමුවනදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම් කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇති අතර යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් අදාළ වියදම පියවීමට සිදුවන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විපතට පත්වූ සියලූම පවුල්වලට තම  කණගාටුව පළ කරන අතර කුණු කන්ද හා අවට භූමිය විධිමත්ව පුනරුත්තාපනය කිරීම සඳහා  ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහය ඇතිව කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටිය බවයි.

එමෙන්ම මේ වන විට නිවාස 69 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ සෑම නිවසක් වෙනුවෙන්ම රජයේ ආධාර හිමිවන්නේ නම් නව නිවසක් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.