FAST NEWS

24×7 Around the Globe

විපතට පත්වූ ජනතාවට ජනපතිගෙන් උපරිම සහන…

මීතොටමුල්ල කසළ කන්ද නාය යාම හේතුවෙන් විපතට පත්වූ ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම කටයුතු වලදී කිසිඳු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටළුවක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

මීතොටමුල්ල කසළ කන්ද නාය යාම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ අද(16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයට යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත් කරමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේ කටයුතු කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

එම ජනතාවගේ නිවාසවල ඇති භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු වී ඇති අතර එම බඩු බාහිරාදිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීමටත් ඒ සඳහා ආරක්ෂාව සැපයීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති අතර විපතට පත් පවුල් සංඛ්‍යාව සහ දේපල පිළිබඳ නිසි ගණනයක් හා තක්සේරුවක් සිදුකර එම වාර්තාව දින 5ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇත.

ජනතාවට සහන සැලසීම සහ නැවත පදිංචිකිරීම් සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර ජනතාවගේ චෝදනාවට ලක් නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.