FAST NEWS

24×7 Around the Globe

විනිමය පාලන පනත ඉවත් කර නව පනත් කෙටුම්පතක්‌ එයි..

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීමේ බලතල මහ බැංකුවට පවරමින් විනිමය පාලන පනත ඉවත් කරන නව පනත් කෙටුම්පතක්‌ විදේශ විනිමය පනත් කෙටුම්පත නමින් ඊයේ (07 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පතට අනුව විදේශ විනිමය වෙළෙදාම් කිරීම සඳහා මහ බැංකුව විසින් සෑම බලපත්‍රලාභි වාණිජ බැංකුවකටම බලය ලබාදිය යුතුය. බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහාද එම බලය ලැබෙනු ඇත. මුදල් මාරු කරන විදේශීය විනිමය වෙළෙන්දන්ටද මහ බැංකුව විසින් බලය දෙන ලද ලෙස සලකනු ලැබේ.

මෙසේ විදේශ විනිමය ගනුදෙනු සහ විදේශ වත්කම් විමර්ශනය කිරීම සඳහා මහ බැංකුවෙන් බලය ලබාදෙන තැනැත්තෙකුට ඕනෑම ගිවිසුමකට ඇතුළුවී විමර්ශන කටයුතු කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් අවසර ලැබේ.

වගන්ති තිස්‌ දෙකක්‌ ඇතුළත් විදේශ විනිමය පනත කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරි දිනක විවාද කරන බවද සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.