2016.04.01 දින මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ වසන්ත අල්විස් මහතා ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
එසේම එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට රු. බිලියන 36.485 ක අරමුදල් ගලා ඒමක් සිදුව ඇති බවද හෙතෙම කොමිසම හමුවේ කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක් කොමිසමට ඉදිරිපත් කළ වසන්ත අල්විස් මහතා ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස් කළ බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.
රු. බිලියන 36.485 ක මුළු මුදල තුළ රු. බිලියන 6 ක අර්ථසාධක අරමුදලේ මුදල් ද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් තම බැඳුම්කර ගනුදෙනු පියවීමට යොදාගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
2016.04.01 දින මහ බැංකුවෙන් ලබාගෙන ඇති අරමුදල් ප්‍රමාණය රු. බිලියන 10.5 බවත් ඉතුරු ප්‍රමාණය මහ බැංකුවෙන් එක් දින ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගෙන ඇති බවත් සාක්ෂිකරු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කලින් (2016.03.29 සහ 31 යන දිනවල) මිලදී ගෙන තිබූ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා මුදල් පියවීමට නියමිතව තිබුණේ 2016.04.01 දින බවද ඔවුන් මහ බැංකුවේ එක්දින ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගෙන තිබූ මුදල් නිසි පරිදි පියවීම පැහැර හැර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනයට අනුව කොමිසමට කියා සිටියේය.
(ADS)








