FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිර්මල කොතලාවල දේශපාලනයෙන් සමුගනියි.

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන වටපිටාව තුළ තම අනන්‍යතාව පවත්වා ගනිමින් ජීවත්වීම අපහසු නිසාත්, දේශපාලනය තුළ උඩුගම් බලා පිහිනීම අර්ථශූන්‍ය වන නිසාත් බල දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිර්මල කොතලාවල මහතා ලිපියක් මඟින් පක්‍ෂය වෙත දැනුම් දී ඇත. එසේම තමා ජීවත්ව සිටින ඉතිරි කාලය තුළ නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වීමේ අවශ්‍යතාව නිසාවෙන් මෙම තීරණයට එළැඹි බව ඔහු නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

එම ලිපිය මෙසේය.

ගෙවුණ මගේ විසි වසරකට වැඩි දේශපාලන ජීවිතය ගැනත්, පවතින වර්තමාන දේශපාලනය ගැනත්, දිගින් දිගටම කල්පනා කර මෙම ලිපිය ලියමි.

දැනුම අවබෝධය ලද මොහොතේ සිට ප්‍රගතිශීලී වාමාංශික මතවාදය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ මම ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළත්, ඉන් අනතුරුව ‍ෙදාඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙසත්, අවසාන වශයෙන් සන්ධාන ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙසත් මාගේ සේවය හෘද සාක්‍ෂියට එකඟව නොපිරිහෙළා ඉටු කරමි. රුපියල් සතවලින් ඔබ්බට ගිය මතවාදී දේශපාලනයක් වෙනුවෙන් උපරිමයෙන් කැප වුණෙමි. මිනිසුන් මා වෙනුවෙන් ලබාදුන් මනාපයට මම උපරිම වටිනාකමක් ලබාදීමට කටයුතු කළෙමි. දේශපාලන ජීවිතයේ කිසිම දවසක බාර් ලයිසන් එකක් ලබානොදුන් මම මහජන නියෝජිතයකු ලෙස ලැබූ වාහන බලපත්‍රයද විකුණා දැමුවේ නැත.
එහෙත් තවදුරටත් මෙම දේශපාලන වටපිටාව තුළ මට මම වශයෙන් ජීවත් වීම අපහසුය. පවතින දේශපාලන වටපිටාව තුළ උඩුගම් බලා පිහිනා වැඩක් නැති බව අවසානයේ මම තේරුම් ගතිමි. අවසානයේ මෙම බල දේශපාලනයෙන් සදහටම මම ඉවත් වීමට තීරණය කළෙමි. මැතිවරණ දේශපාලනය තුළ ඉදිරියේදී කිසිම දිනෙක නිර්මල කොතලාවල දකින්න නොලැබෙන්නේ මේ නිසාය.
වෙන කළ හැකි අන් දෙයක් නැත. මෙම තීරණය තුළ ඇත්තේද හෘදසාක්‍ෂියට එකඟ වීමේ තීන්දුව පමණි. වර්තමානය දෙස බැලීමේදී මම ගනු ලැබූ මෙම තීන්දුව තුළ විවේචන එල්ල වීම නොවැළැක්විය හැකි දෙයකි. එහෙත් එය අනාගත දේශපාලන සමාජ තත්ත්වයන් තුළ නිවැරැදි වන බව මම විශ්වාස කරමි.
මෙම ලිපිය තුළ මාගේ මැතිවරණ දේශපාලනය සඳහා අවශ්‍ය පසුබිම සකසා දුන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් එහි සියලුම දේශපාලන නායකයන්ටත් ස්තුතිවන්ත විය යුතුය. තවද නිර්මල කොතලාවල නමැති චරිතය පහළ සිට දේශපාලනිකව ඉහළට ඔසවා තැබීමට ඇප කැප වූ බුලත්සිංහල ජනතාවටත් පොදුවේ කළුතර ජනතාවටත් මාගේ කාර්යමණ්ඩලයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ටත් හෘදයාංගම ලෙස ස්තුතිවන්ත වෙමි. තවද ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බිහිවීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවටද මම අවංකව සුබපතමි.
අවසාන වශයෙන් මම විශ්වාස කරන ලෙස සෑම මිනිසකුටම ජීවිතයේ පරිච්ඡේද ඇත. මාගේ දේශපාලන පරිච්ඡේදය අවසන්ය. ඔබ ලබාදුන් ඡන්දය තුළ එම ජීවිත කාලපරිච්ඡේදයේදී මම ජනතාවට වගකියන දේශපාලනඥයකු ලෙස කටයුතු කළෙමි. මෙම තීන්දුව පිළිබඳව මා නියෝජනය කරන ජනතාවට අසාධාරණයක් නොවීමට අදාළ අංශ සඳහා අදාළ පුද්ගලයන් දැනුවත් කිරීමට කටයුතු කළෙමි. ලබන සැප්තැම්බර් මාසයේදී මට හරියටම අවුරුදු පනහකි. අවුරුදු හැත්තෑවක් ජීවත් වුණත් මම ජීවත් වෙන්නේ තව අවුරුදු විස්සකි. දිනවලින් ගත්තොත් දින 7300කි. එම කාලය තුළ මට අවශ්‍ය වන්නේ නිදහස්ව නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වීම පමණය යැයි එම ලිපියේ සඳහන් වෙයි.