FAST NEWS

24×7 Around the Globe

සයිටම් සම්බන්ධයෙන් කොප් කමීටුව දෙකට බෙදෙයි…

කෝප් කමිටුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කරන විමර්ශනයේදී දෙපාර්ශ්වයකට බෙදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂය මෙයට පක්ෂව අදහස් දක්වා තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෝප් කමිටුවෙන් නැගිට ගොස් ඇති බවද වාර්තා වේ.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තත්ත්වය හටගෙන තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍යායතනයට උපාධි පිරිනැමීමේ අවසරය දෙමින් එවකට උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතා නිකුත් කළ ගැසට් පත්‍රයට පදනම් වූ විශේෂඥ කමිටු වාර්තාව මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත.

එම කමිටු සාමාජිකයන්ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටි බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කමිටු වාර්තාව 2011 අප්‍රේල් මස 20 දින නිකුත් කර ඇති අතර එහිදී කමිටු සාමාජිකයන් සියලු දෙනාම ඊට අත්සන් කර නැති බවද මෙහිදී හෙළිදරව් වී තිබේ.

මෙම කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් හතර දෙනෙකුගේ මෙන්ම එවකට කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් හා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුගෙන් සමන්විත වී ඇත.

එයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් හතර දෙනා මීට එකඟ වී වාර්තාවට අත්සන් තබා ඇතත් හිටපු උපකුලපතිවරුන් හා වෛද්‍ය සභා සාමාජිකයන් එයට එකඟව අත්සන් කර නැත.

ඒ අනුව සාමාජිකයන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ අත්සන් නැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇති අතර නැවත දිනකදී ඉදිරි පරීක්ෂණ සඳහා රැස්වීමට මෙහිදී තීරණය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)