වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
තමාට ඇප නියම නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විත්ති කූඩුවේ සිට අද අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.
තමන්ට එරෙහිව පවතින්නේ තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව බවත්, එවැනි චෝදනා එල්ල වී ඇති අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළ හැකියාව පවතින බවද, නමුත් මෙ වන විට මාස 10කට ආසන්න කාලයක් තමා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.
මේ හේතුවෙන් තමා කායික හා මානසික වශයෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති බවත්, තමාට ද අවශ්‍ය තාජුදීන් ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන එම නඩුවෙන් නිදහස් වීම බව අනුර සේනානායක මහතා අධිකරණයට පැවසීය.
එහෙයින් හැකි ඉක්මණින් තාජුදීන් ඝාතනය පිළිබඳ විමර්ශන අවසන් කර තමන්ට නිදහස ලබාදීමට පියවර ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
(ADS)








