ගීතා කුමාරසිංහ මහත්මිය වෙනත් රටක පුරවැසිභාවය දරන හෙයින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නීතිමය හිමිකමක් නොමැති බව ඊයේ (14) රජයේ නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබා සිටින බවත් ඇය එම පුරවැසිභාවය මතෛක් අවලංගු කොටගෙන නැති බවත් අනාවරණය වූ බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනයන්ට අනුව වෙනත් රටක පුරවැසිභාවය දැරීම මෙරට පාර්ලිමේන්තුවේ නියෝජිතයකු වශයෙන් මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් වන බවත්ය.
ගාලු දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ මැතිවරණ ඡන්දාපේක්ෂිකාවක වශයෙන් තරග කොට තේරී පත්ව සිටින ගීතා කුමාරසිංහ මහත්මියගේ පත්වීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය හිමි ඡන්දදායකයින් දෙදෙනකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම විමසුමට ලක්වූ අවස්ථාවේදී තම ස්ථාවරය ප්‍රකාශ කරමින් නීතිපතිවරයා එලෙස ප්‍රකාශ කර සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන අනු ව්‍යවස්ථාව පරිදි ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊට එරෙහිව කරුණු ප්‍රකාශ කළ අතර ද්විපුද්ගල විනිසුරු මඬුල්ල එම විරෝධතා ලිඛිත විරෝධතා ලෙස ගොනු කරන මෙන් දන්වා සිටියේය.
වැඩිදුර විභාගය මැයි මස 03 වැනි දිනට කල් තැබිණි.
(ADS)








