FAST NEWS

24×7 Around the Globe

රු. බිලියන 10 ක ලංසු පිළිගන්නැයි අර්ජුන් කී බව දීපා හෙළි කරයි..

රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ මහ බැංකු අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා තමා වෙත තරයේ උපදෙස්‌ දුන් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (6 දා) මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සහ තම දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මේ තීරණය පිළිගන්නා ලෙස තමාට තරයේ උපදෙස්‌ දුන්විට එම තීරණය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමාට වෙනත් විකල්පයක්‌ නොතිබූ බවද ඇය කීවාය.

අධිපතිවරයා එහිදී තමා දෙසට හැරී ‘do it’  යන වචන භාවිතා කරමින් එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමාට නියෝග කළ බවද ඇය කියා සිටියාය.

අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආසිම් මහතා එම තීරණයේ අහිතකර බව සිව් වතාවක්‌ පෙන්වා දුන්නත් පළක්‌ නොවූ බවද නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා නිහඬව බලා සිටි බවද ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන රාජකාරි කටයුතු ගැන දැනීමක්‌ හා අත්දැකීම් නැති තමා හදිසියේම එහි ප්‍රධානියා ලෙස පත්කර ඇති බව දැන ගන්නට ලැබී විශ්මයට පත්වූ බවද ඇය කීවාය.

තමා එම තනතුරට පත් කරනු ඇතැයි කිසි දිනෙක අපේක්‍ෂා නොකළ බවත් තනතුර භාර ගැනීමට ඇති අකමැත්ත පළකොට දන්නා හඳුනන උසස්‌ නිලධාරීන් මාර්ගයෙන් වෙනත් අංශයකට මාරුවක්‌ ලබා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ නිසා අවසානයේදී එවකට මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හමුවී කරුණු ඉදිරිපත් කළ බවද සෙනවිරත්න මහත්මිය කීවාය.

එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකුව සිටි ආචාර්ය ආසිම් මහතා ඉන් ඉවත් කිරීමට තමාට අවශ්‍යවී තිබෙන බව අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට පැවසූ බවත් ඒ නිසා තනතුරේ දිගටම රැඳී සිටින ලෙස ඔහු තමාට දැන්වූ බවත් එම කාරණාව කිසිවකුට හෙළි නොකර රහසක්‌ වශයෙන් තබා ගන්නා ලෙස ඔහු තමාට එම අවස්‌ථාවේදී පැවසූ බවත් දීපා සෙනෙවිරත්න මහත්මිය කොමිසම හමුවේ පැවැසුවාය.

ඉන්පසුව වෙන ගත හැකි පියවරක්‌ නැති නිසා තනතුර භාරගත් බවත් පළමුවෙන්ම කළේ රජයේ ණය දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම කැඳවා තනතුරේ කටයුතු කරගෙන යැමට තමාට සහාය වන ලෙස ඉල්ලා සිටීම බවත් ඇය කීවාය.

එවකට රජයේ ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය ආසිම් මහතා ඇතුළු උසස්‌ නිලධාරීන්ගෙන් තමාට විශාල සහායක්‌ ලැබුණු බවත් එතැන් සිට තමා දිගටම කටයුතු කළේ ඔවුන්ගේ උපදෙස්‌ හා මග පෙන්වීම යටතේ බවත් පැවසූ සාක්‍ෂිකාරිය ආචාර්ය ආසිම් මහතා රාජ්‍ය ණය අංශය ගැන විශේෂ දැනුමක්‌ මෙන්ම උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාගෙන සිටින අයෙකු බවත් ඔහු මහ බැංකුවට ඉතා වටිනා සම්පතක්‌ බවත් කියා සිටියාය.