FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හෙට ඇරඹේ..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරය හෙට (27) දින ආරම්භ වීමට නියමීත අතර එය ලබන මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වේ.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එමඟින් ඉදිරිපත් කෙරෙන කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ඇතුළු අනෙකුත් නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳ එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව සුළු ජාතීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා මෙරටට පැමිණි විශේෂ නියෝජිතවරියගේ වාර්තාවක් ද මානව හිමිකම් කවුන්සිලයට සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 සහ 20 අතර කාලය තුළ මෙරට සංචාරය කරමින් එම විශේෂ නියෝජිතවරිය සුළු ජාතින්ගේ ගැටළු පිළිබඳ තොරතුරු රැස් කළ අතර ඊට අදාළව කරුණු 84කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල මෙරට සංචාරයක නිරත වු වදහිංසනය සහ අනෙකුත් කෘර අමානුෂික සැලකිළි හෝ දඞුවම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි නියෝජිතයාගේ වාර්තාවක් ද සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කරුණු 122කින් එම වාර්තාව සමන්විත වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාලරාමුවක් ඉදිරිපත් කළ යුතු බවට හියුමන් රයිට්වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.