FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ විධායක සභාව මාර්තු 02 රැස් වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව මාර්තු 2දා පදනම් ආයතනයේදී පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා ඇති අතර එම අවස්ථාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත යෝජනා මෙම මස 27  වන විට පක්ෂ මූලස්ථානයට යොමු කරන ලෙස ශ්‍රී ලනිප මහ ලේකම් දුමින්ද දිසානායක විසින් සියලුම විධායක සභා සාමාජිකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විධායක සභාවේදී නිලතල කිහිපයකට අලුතින් පත්කිරීම් සිදු කරනු ඇති බවත් ලේකම්, භාණ්ඩාගාරික තනතුරුවල වෙනසක් සිදු නොවන බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලනිප විධායක සභාව ආසන සංවිධායකවරුන් ඇතුළු සාමාජිකයන් 300කට අධික පිරිසකගෙන් සමන්විත වෙයි.

සම්මුති ආණ්ඩුව වසර දෙකක් පවත්වාගෙන යෑමට ඇති කරගත් ගිවිසුමට ලබන අගෝස්තු 4දාට දෙවසරක් පිරෙන අතර එම ගිවිසුම තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න ගැන මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලනිපයේ දුර්වල ආසන සංවිධායකවරුන් වෙනුවට අලුතින් සංවිධායකවරුන් පත් කිරීමත් එක්සත් ජනතා නිදහස් සංවිධානයෙන් සංවිධායකයන් පත් කරනු ලැබ සිටින ආසනවලට ශ්‍රී ලනිප සංවිධායකයන් පත් කිරීම ගැනත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව පැනනැඟී තිබෙන ගැටලුකාරී තත්ත්වයද මේ සාකච්ඡාවට විෂයක් වනු ඇතැයි වාර්තා වෙයි.