FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සමීර සේනාරත්න චෝදනා පාර්ශවයන්ට එරෙහිව අධිකරණය හමුවට…

තමන් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව විදේශගතව සිට යළි දිවයිනට පැමිණි සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න පැවැසීය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ එහි වෛද්‍ය පීඨයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමීර රේනුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි අයෙකු නොවන බවයි.

එම නිසා කිසිදු අයුරකින් ඔහුට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමට අයිතියක් නොමැති බව ද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සිය නිවේදනය මගින් පෙන්වා දෙන ලදි.

එමෙන්ම, සයිටම් ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔහු පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කලේය.

කෙසේ වෙතත්, වෛද්‍ය සමීර සේනාරත්න පවසන්නේ විදෙස් විශ්වවිද්‍යාලයකින් තමන් ලබා ගත් වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති බවයි.