FAST NEWS

24×7 Around the Globe

“මම ඡන්දවලට බය නෑ” – ජනපති ශ්‍රීලනිපයට කියයි..

“මම ඡන්දවලට බය නෑ, ඡන්ද තියන හැටි මම දන්නවා, තමුන්නාන්සේලාට තියෙන්නේ පක්ෂය සූදානම් කරන්න” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හමුවේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායක හමුව ඊයේ (22) දහවල් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

“නුදුරු දින කිහිපයේම වැඩක් කෙරෙන්නැති ආසනවල සංවිධායකවරු මාරු කරනවා. පක්ෂයේ සංවිධාන කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඡන්දවලට බය වෙන්න එපා. ඡන්ද තියන හැටි මම දන්නවා. එක එක රැස්වීම් තියලා සෙනග පෙන්නලා කවුරු හරි හිතනවා නම් ඡන්ද ජයග්‍රහණය කරන්න ඒක විහිළුවක්. මිනිස්සු පෙන්නලා රටේ ජනමතය තීරණය කරන්න පුළුවන්කමක් නෑ. මේගොල්ලො දැන් කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. අපේ සංවිධායකයෙක් අස්වුණා කියලා මහා ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. පහුගිය දවසක මින්නේරිය ආසනයේ සූරියආරච්චි හිටපු සංවිධායකතුමා අස්වුණාම මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නා. මේවා කෙරෙන්නේ කොහොමද කියලා මම දන්නවා. “යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මේ අතර මෙම සංවිධායක හමුවේ දී ශ්‍රීලනිප ආසන බලමණ්ඩල පිහිටුවා අවසන් කළ ආසන සංවිධායකවරුන්ට සහතිකපත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.