FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් ලක්ෂ 53 ක පෙත්සමක්..

පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙසට බලකරමින් මහජන පෙත්සමක්‌ අත්සන් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මෙම මහජන පෙත්සමට අත්සන් පනස්‌ තුන් ලක්‌ෂයක්‌ ලබාගැනීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

පෙත්සමට අත්සන් ලබාගැනීම මාර්තු මස 19 වැනිදා ආරම්භ කෙරෙන බවත් මෙරට අවසාන පළාත් පාලන මැතිවරණය පැවැත්වූ දිනය වූ එම දිනය මේ සඳහා යොදාගත් බවත් හෙතෙම සඳහන් කළේය.

සීමා නිර්ණය කොමිසම හඳුනාගත් කොට්‌ඨාස 4976 පුරා ගොස්‌ මෙම මහජන පෙත්සමට අත්සන් ලබාගැනීම සිදුකෙරෙන බවත් මෙය මෙරට ඉතිහාසයේ දැවැන්තම මහජන පෙත්සම වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය, වෘත්තීය සමිති ව්‍යාපාරය, වෘත්තිකයන්, බහුජන සංවිධාන විශාල සංඛ්‍යාවක්‌ එක්‌ව මෙම මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරන බවත් පෙත්සම අත්සන් කිරීමේ මධ්‍යස්‌ථාන නගරවල පිහිටුවන බවත් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔන් ලයින් හරහා පෙත්සමට අත්සන් කිරීමේ පහසුකම් නිර්මාණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.