FAST NEWS

24×7 Around the Globe

“සයිටම්” ගැටළුව විසඳන බව ජනපති අන්තරේට කියයි..

මාලඹේ “සයිටම්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳන තුරු අධ්‍යාපනය කඩා කප්පල් කර නොගෙන දෛනික අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය නියෝජිත පිරිස් සමඟ ඊයේ (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙන්ම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් පසු මේ ගැටලුව විසඳීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ශිෂ්‍ය නියෝජිතයන්ට පැවැසීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ තම විරෝධය පසුගිය රජය වකවානුවේ සිටම පළ කළ අතර පැවැති රජය ඊට අවධානය යොමු නොකළ බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ ජනාධිපති හමුවේ පැවැසූහ.