FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනයට සැකපිට රඳවාගත් බුද්ධි සමාජීකයාට වන්දි..

සාධාරණ හේතු නොමැතිව දිගින් දිගටම පුද්ගලයකු සිරකර තැබිමට කිසිවකුටත් නොහැකි බව පවසමින් ඊයේ (15) වසරකට අධික කාලයක් රැඳවුම් බන්ධනාගාරගතව සිටි හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු නිදහස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද වගඋත්තරකරුවන්ට නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිටපු යුද හමුදා බුද්ධි අංශ ලාන්ස් කෝප්‍රල්වරයකු වන නුවරඑළිය, කටුමාන පදිංචි (දෙදරු පියකු) කන්දෙගෙදර ප්‍රියවංශ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසානයේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමීන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කළේය.

පෙත්සම්කරු මේ වන විටත් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකු වශයෙන් සිටියි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ආරක්ෂක ‍ලේකම්වරයා, ‍පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂව සිටි නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රා එන්. වාකිෂ්ට, වැලිකඩ රැඳවුම් (රිමාන්ඩ්) බන්ධනාගාරයේ අධිකාරිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් එස්. හෙට්ටිආරච්චි, ‍පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක බෝගමුව යන අය හා නීතිපතිවරයා ද වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි.

තමාට එරෙහි කුමන හෝ හෝඩුවාවක්වත් නොමැතිව තමා සිරගතකර තමාට දඬුවමක් දීමෙන් නොනැවතී තම දරු පවුලට ද දඬුවම් දීමට ‍පොලිසිය අත්තනෝමතික ලෙස හා ඉතාමත්ම අයුක්ති සහගත ලෙස දිගින් දිගටම ක්‍රියා කළ බවත් ඔහු සිය පෙත්සමෙන් අවධාරණය කොට තිබිණි.

වැඩිදුරටත් ඔහුගේ පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු වන පී. ජේසුදාස් නමැති අයගේ දුරකථනයෙහි තිබූ තම අංකය අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය 2010 පෙබරවාරි මස 27 වැනි දින පාන්දර 3.30ට ප්‍රථම වරට තමා අත්අඩංගුවට ගත් බවත්, තමා හා ඔහු අතර තිබූ එකම සබඳතාව වන්නේ හමුදාවට බැඳීමට පෙර රියැදුරකු වූ තමා ගරාජ්කරුවකු වන ඔහු සමග තිබූ සබඳතාව බවත්ය.

පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තමා සහ ජේසුදාස් යන දෙදෙනාම නිදහස් කළ බවත් එහෙත් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් තමා මුදානොහැර යළිත් ගල්කිස්ස අධිකරණයේ පැවැති ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවකට සම්බන්ධ කළ බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

එවර තමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධතාවක් තිබේද යන්නත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග යම් යම් කටයුතුවලට තමා හවුල් වී විවිධ ක්‍රියාවන්ට සම්බන්ධ වූයේ ද යන්නත් විමසා සිටි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.