FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට පනතක් – ආශු

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා වන නියාමන පනතක් මෙම වසර තුළ පාර්ලිමේන්තුවට ගෙන එමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශීක අධ්‍යාපන කමිටුවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා කොළඹ දී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ මේ පිළිබඳව වන මුලික කෙටුම්පත අවසන් කර ඇති බවත් මෙම කමිටුව මගින් එය සාකච්ඡාවට ලක් කිරීම මෙම දිනවල සිදු කෙරෙන බවත්ය.

මෙහි මූලික අරමුණ රටේ පෞද්ගලික අධ්‍යාපනය තුළ නිසි ප‍්‍රමිතියක් ඇති කිරීම බවද ඔහු පැවසීය.

එ අනුව මෙම නියාමන කටයුතු සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවාද නැත්නම් එම වගකීම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙනවාද යන්න ඉදිරියේදී තීරණය කරන බවද පැවසීය.

දැනට මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති අතර තවත් වෛද්‍ය විද්‍යාලයක් ඇතුළු එවැනි උසස් අධ්‍යාපන ආයතන 3ක් ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

එසේම වයඹ විශ්වවිද්‍යාලයට, සබරගමුව විශ්වවිද්‍යාලයට හා මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පිඨ 3ක් ආරම්භ කරන බවද මෙහිදි අවධාරණය කර සිටියේය.