මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි උවදුරෙන් රට මුදා ගැනීමට පියවර ගන්න බව “මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්” නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් විය. ඒ ප්‍රතිඥාවට අනුව යමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිතව “ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය” පිහිටුවනු ලැබූ අතර ඊයේ එහි කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි. මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ.
“මතින් නිදහස් රටක්” තේමාවෙන් ක්‍රියාත්මක මේ වැඩසටහනට සමගාමීව අද දින දිවයින පුරා පිහිටි සියලු සුරාසල් වසා දැමීමට තීරණය කර ඇත. අරක්කු-දුම්වැටි මිලද ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද වාර්තා වී තිබේ. ඒ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන්දැයි දන්නේ නැත. කෙසේ වුවද මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි උවදුරෙන් රට ගලවා ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඇරැඹීම අගය කළ යුතු කටයුත්තකි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද පසුගිය කාලයේ “මතට තිත” නමින් මෙවැනි වැඩපිළිවෙළක් ඇරැඹීය. එහෙත් ඇතැමුන් එය හාස්‍යයට ලක් කළේ “තිතට මත” ලෙස නම් කරමිනි. ඇත්ත වශයෙන්ම එයින් මෙරට මත්ද්‍රව්‍ය මත්පැන් ව්‍යාප්තිය හා පාවිච්චිය අඩුවූයේ නැත. දුම්වැටි භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබුණද මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය බරපතළ ලෙස ඉහළ ගොස් තිබේ. රුපියල් කෝටි ගණන් වටිනා “මත්ද්‍රව්‍ය තොග” රටේ සිවුදෙසින්ම හමුවෙයි. කුඩු විකුණු පුද්ගලයෝ අත්අඩංගුවට පත් වෙති. එකකු සිරගෙට යන විට ඒ තැන ගන්නට තවකෙක් සැදී පැහැදී සිටියි. සිරගෙදර සිටද ඔවුහු කුඩු ජාවාරමේ යෙදෙති. “කුඩු පොඩ්ඩන්” නීතියේ රැහැනට නිතර හසුවුවද “කුඩු ලොක්කන්” කොටුවන්නේ කලාතුරකිනි. අත්අඩංගුවේ සිටින “වෙලේ සුදා” එවැන්නෙකි. අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා මෑතකදී ප්‍රකාශ කෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ දේශපාලනඥයන් රැසක් හඳුනාගෙන සිටින බවයි. ඉන් යළි යළිත් තහවුරු වන්නේ දේශපාලනඥයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අතර ඇති සම්බන්ධයය.
බරපතළම කාරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූවන් ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා හා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඡන්දදායකයන් විසින් මනාපයෙන් තෝරා ගැනීමයි. මනාපයෙන් පැමිණි මේ පුද්ගලයන්ට සභාපතිකම්, නගර සභාපතිකම්, නගරාධිපතිකම්, නියෝජ්‍ය ඇමැති හා ඇමැතිකම් නිර්ලෝභීව ප්‍රදානය කර තිබීම ඊටත් වඩා බරපතළය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් හා දේශපාලනඥයන් “ගහට පොත්ත” මෙන් වීම නිසා මත්උවදුර මැඬලීම කිසිසේත් ලෙහෙසි පහසු දෙයක් නොවේ. පළමුව කළ යුත්තේ මේ දේශපාලන සම්බන්ධතාව බිඳ දැමීමය.
දිවයිනේ මිනිසුන් 100ට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි නිසා දිනපතා මියයති. එවැනිම සංඛ්‍යාවක් දරුවෝ මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සිගරැට් භාවිතයට පුරුදු වෙති. මද්‍යසාර හා දුම්වැටි නිසා දිනකට මෙරට මිනිසුන් නාස්ති කරන මුදල රුපියල් කෝටි 50කට වැඩිය. අඩු ආදායම්ලාභීහු සිය ආදායමෙන් 35%ක් මද්‍යසාරවලට වියදම් කරති. රජයේ රෝහල්වල ඇඳන්වලින් 20%ක් මද්‍යසාර හා දුම්වැටි නිසා රෝගී වූවන්ගෙන් පිරී පවතී. මද්‍යසාර මිල දිනෙන් දින ඉහළ ගියද “පාවිච්චියද” දිනෙන් දින ඉහළ යනවා මිස අඩුවීමක් නැත. දුම්වැටියේ මිල ඉහළ යෑමට සාපේක්ෂකව පාවිච්චියේ පහළ යෑමක්ද දක්නට නොලැබේ.
ආර්ථික, සමාජයීය, දේශපාලන හා සංස්කෘතික ප්‍රශ්නවලින් ඔද්දල් වූ මේ සමාජයේ මානසික සුවය උදෙසා ගැහැනු පාර්ශ්වය “ආගමට” නැඹුරු වෙද්දී පිරිමි පාර්ශ්වය මත්පැන්වලට ලොල් වෙමින් සිටී. කාන්තාවන්ගේ මත්පැන් පරිභෝජනයද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණය කර තිබිණි. මත්බීම, මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය හරහා පාසල් දරුවන් ගොදුරු කර ගැනීමට “මත් රකුසා” සාර්ථකව ක්‍රියාත්මක වෙමින් සිටී. ඒ ක්‍රියාකාරිත්වය වහ වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් එය බරපතළ විනාශයකට අත වැනීමකි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන “මතින් නිදහස් රටක්” වෙනුවෙන් කල් නොයවා වැඩ අරඹා ඇත්තේ මේ පිළිබඳ අවබෝධයෙන් යුතුව විය යුතුය. එළැඹෙන මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය පිහිටුවන පක්ෂයට මෙන්ම විපක්ෂයේ පක්ෂවලට පැවරෙන වගකීම වන්නේ සියලු භේද නොසලකා ජනාධිපතිවරයාගේ උත්සාහයට දායක වීමය. මෙහිදී ඡන්දදායක ජනතාවගේ යුතුකම වන්නේ මත්ද්‍රව්‍ය-මත්පැන්වලට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූවන්ට පක්ෂ විසින් අපේක්ෂකත්වය ලබාදුන්නද ඔවුන් කිසිවකුට පාර්ලිමේන්තුවේ පස් පෑගීමට ඉඩ නොතැබීමය.
මත්කුඩු, එතනෝල්, අරක්කුකාරයන් පාර්ලිමේන්තුවට යැවීමට මනාපවන්නේ සිය දූදරුවන්, මුනුබුරු මිනිබිරියන් මත් රකුසාට ගොදුරු කිරීමට කැමැති නරුමයෝය. ‘නරුමයන්’ කොතරම් සංඛ්‍යාවක් ඡන්දදායක ජනතාව අතර සිටිනවාද යන්න අගෝස්තු 18 වැනිදාට දැකබලාගත හැකිවනු ඇත.
මව්බිම








