FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ ප්‍රකාශයට රනිල්ගෙන් පිළිතුරක්…

 

දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට හිටපු ජනාධිපතිවරයාට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නම්, ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරම විශ‍්‍රාම ගැනීමට තිබූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

‘‘රටම වෙනස් කරන රනිල් සමඟ ඉදිරියට යමු’’ තේමාව ඔස්සේ අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ ඊයේ (28) පැවති රැළියට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින දේශපාලනික අර්බුද සම්බන්ධයෙන් කතා කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ “දැන් නුගේගොඩදි එතුමා කියලා තියෙනවා..මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තරගයට ආවේ නැත්නම් එතුමා විශ්‍රාම යන්න හිටියා කියලා. යූ.එන්.පී ජනාධිපතිවරයෙකු වුණත් ශ්‍රීලංකා එකේ ජනාධිපතිවරයෙක් වුණත් වාර දෙකක් කරලා විශ්‍රාම ගන්නවා. එහෙනම් ඇයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 18 වැනි සංශෝධනය කරලා වාර දෙකේ සීමාව අයිං කළේ. ඒක තියාගෙන විශ්‍රාම යන්න තිබ්බානේ.” යනුවෙනි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම රැස්වීම අමතමින් වැඩි දුරටත් සඳහන් කළේ හම්බන්තොට ප‍්‍රදේශයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් අනුරාධපුරයේ සිටින තරුණ තරුණියන්ට ද රැකියා අවස්ථා උදාවන බවයි.