FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කරෙන් අර්ථසාධකයට මිලියන 14,900 ක පාඩුවක් – අනුර

බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 14,900 ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවෙදී සඳහන් කළේය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව  අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ මේ සැබෑ ගනුදෙනුව වසන් කරමින් සිටිනවා. වංචනිකයන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අදාළ පාඩුව පියවාගැනීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් වංචාව යට ගසමින් බැඳුම්කර ගනුදෙනුව යට ගැසීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

සෘජුව හා වක්‍රව පර්පචුවල්  සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව කෝටි 1490 යි. තමන් විශ්‍රාම යෑමේදී, ලෙඩකදී තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කළ මුදල. එය කණ්ඩායමක් විසින් ගිලගෙන තිබෙනවා. එම මුදල් ගලාගෙන ගියේ පර්පෙචුවල් සමාගමට. බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් සියයට තිස් ගණනකින් වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල්  සමාගමේ වත්කම්  1853 % කින් වැඩි වෙළා.  මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙනවා.

‘‘මෙම වංචාවට හවුල්වූවන් විගණකාධිපතිටත් බලපෑම් කළා. ඔහුගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරන්න උත්සාහ කළා. විගණකාධිපති දඬුකඳේ එල්ලා ගල් ගසා මරා දමන අකාරයෙනුයි පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ. එම සභාවෙදි විගණකාධිපතිට හා නිලධාරීන්ට එල්ල කළ තර්ජනයේ අදහස ඔවුන් බිය කිරීමටයි. ඒත් නිලධාරීන් ඊට යටත් වුණේ නෑ. ‘‘ යයිද පැවසීය.