FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. සමග මත්ස්‍ය අපනයනයට 15%ක බදු සහනයක්..

ජී.එස්.පී. සහනය ලැබීමෙන් පසු මත්ස්‍ය අපනයනයේදී ශ්‍රී ලංකාවට 15%ක බදු සහනයක් ලබාගත හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් සමග එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ජී.එස්.පී. සහනය හරහා ශ්‍රී ලංකාව වෙත ලැබෙන 15% ක අපනයන බදු සහන හේතුවෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමට අපේක්ෂා කෙරෙන බව හෙතෙම පැවසීය.

පසුගිය 2016 වර්ෂයේදී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 13,932 ක් ශ්‍රී ලංකාව විසින් අපනයනය කර ඇති අතර, ඉන් ලද ආදායම රුපියල් මිලියන 21,539 ක් වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී පසුගිය වර්ෂය තුළ සිදු කරන ලද සමස්ත මත්ස්‍ය අපනයනයෙන් යුරෝපා හවුලට අයත් රටවල් සඳහා මෙට්‍රික් ටොන් 1817ක්ද, වෙනත් යුරෝපීය රටවල් සඳහා මෙට්‍රික් ටොන් 515ක්ද, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මෙට්‍රික් ටොන් 4088ක්ද, ජපානය සඳහා මෙට්‍රික් ටොන් 1717 ක් සහ වෙනත් රටවල් සඳහා මෙට්‍රික් ටොන් 5796ක්ද අපනයනය කර ඇති බව සඳහන් වේ.