FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැනගැනිමේ පනත පෙබරවාරී 03 බලාත්මක කෙරේ..

තොරතුරු දැනගැනීමේ පනත ලබන පෙබරවාරි 03 වැනි දා සිට බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගිය සිකුරාදා (20) මෙම ගැසට් පත්‍රය නිකුත් කොට ඇත.

ඒ අනුව සියලුම ආණ්ඩුවේ අමාත්‍යාංශ, පළාත් සභා යටතේ පවතින මණ්ඩල හා කාර්යාල, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවකට 25%කට වැඩි කොටස් හිමි සමාගම්, පළාත් පාලන ආයතන, ආණ්ඩුවේ නියෝජිතායතන, පළාත් පාලන ආයතන කොන්ත්‍රාත් හෝ හවුල් ව්‍යාපාර හෝ ගිවිසුම් හෝ බලපත්‍ර යටතේ පොදු කටයුතු ඉටුකරන පෞද්ගලික හිමිකාරිත්වයක් හෝ සංවිධානයක්, පළාත් සභාවක් පිහිටුවූ ඕනෑම දෙපාර්තමේන්තුවක් හෝ අධිකාරියක් හෝ ආයතනයක්, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ පූර්ණ හෝ අර්ධ වශයෙන් මුල්‍යාධාර සපයන වෘත්තිය හා උසස් අධ්‍යාපන, කාර්මික, පුද්ගලික අධ්‍යාපන ආයතන, අධිකරණ, විනිශ්චය අධිකරණ හා ආයතන යන ආයතන සියල්ල සඳහා මෙම තොරතුරු දැනගැනීමේ පනත බලපැවැත්වේ.

තොරතුරු දැනගැනීමේ පනත පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබීය.

රජය විසින් මුදල් යොදවා කරනු ලබන ව්‍යාපෘති, ඒවාට මුදල් වෙන්කෙරෙන ආකාරය ආදි තොරතුරු ගණනාවක් දැනගැනීමට හැකි වන පරිදි ජනතාවට අයිතිය ලබාදීම මෙම පනත මගින් සිදුකෙරේ.

රාජ්‍ය ආරක්ෂාවට හා පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු මෙම පනත යටතේ වුවද ලබානොදෙන නමුත් ඉහත ආයතනවලට අදාළ තොරතුරු බොහොමයක් දැනගැනීමේ හැකියාව මෙමගින් ජනතාවට ලැබෙනු ඇත.

මෙම තොරතුරු ලබාගැනීම සඳහා  සියලුම අමාත්‍යාංශ ඇතුළු ඉහත ආයතන බොහොමයකට තොරතුරු නිලධාරීන් පත්කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවැසීය.