FAST NEWS

24×7 Around the Globe

හිඟ වැටුප් ඉල්ලු විශ්‍රාමික ආබාධිත යුද හමුදා පෙත්සම ඉවතට..

සිය හිඟ වැටුප් ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කරන්නයි ඉල්ලමීන් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් අද (20) අභියාචනාධිකරණයේදී නිෂ්ප්‍රභා කෙරිණ.

293 දෙනෙකු විසින් ගොනුකරන ලද එම පෙත්සමේ දැක්වුණේ තමන්ට හිමි හිඟ වැටුප් හා දීමනා ගෙවීම යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

වසර 15 ක් තුළදී, පෙත්සම්කරුවන්ට අයත් හිඟ වැටුප් මාසිකව ගෙවා අවසන් කිරීමට තීරණයකර ඇති බව, නඩු විභාගය අතරේදී රජයේ නීතිඥයා විසින් අධිකරණයට දන්වනු ලැබ තිබිණ.

දීර්ඝ කරුණු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය කියා සිටියේ පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් අන්තර්ගත නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන බවය.

කෙසේවෙතත්, වසර 15ක් තුළ හිඟ වැටුප් ගෙවීමේ යෝජනාවෙන් තම සාමාජිකයින්ට අසාධාරණයක්වන බව කී ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්. පී. බී. වික්‍රමසිංහ, “මේ යටතේ එක් අයෙකුට මාසයකට ලැබෙන්නේ රුපියල් 4000 ක් වගේ සුළු මුදලක්. අනික අපි වසර 15ක් යනතුරු ජිවත්ව සිටී ද කියා කියන්නත් බැහැ” යැයි සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කෙරෙහි තම සංගමය අවධානය යොමුකර ඇති බව ද ඔහු පැවසීය.