FAST NEWS

24×7 Around the Globe

ඇමති සියඹලාපිටිය ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසුරුවයි

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (17 වැනිදා) විසුරුවා හැර තිබේ.

2009 – 2016 දක්‌වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්‌ති පිළිබඳ අධීක්‍ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන මෙම විසුරුවා හැරීම සිදුකර ඇත.

අවශ්‍ය සංයුතිය, බලතල, වගකීම් සහ කාර්යභාරය පිළිබඳ වූ වෙනස්‌කම් අදාළ පාර්ශවකරුවන්ගේ පුළුල් සාකච්ඡාවක්‌ තුළින් තීරණය කොට නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කරන ලෙස අමාත්‍යවරයා වෙත නිර්දේශ ලිපියක්‌ ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යැම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්‌ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත්කර ඇත.