විදුලිබල අමාත්‍යාංශය වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇති බවත් එය සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීමක් බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක් නිකුත් කැරමීන් පවසයි.
එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, කැෆේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් යන අයගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ මේ බව දැක්වෙයි.
සම්පුර්ණ නිවේදනය..
කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත.
නැවත ඇරඹී ඇති ගල් අඟුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. පළමු ගල් අඟුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අඟුරු ගෙන්වීමට නියමිතය. පසුගිය සතියේ දී මේ සඳහා ණය (එල්.සී.) ලිපි විවෘත කොට ඇත.
කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් “මහජන මුදල් සම්බන්ධ බැවින් හෘ සාක්ෂිය කම්පා කළ බව“ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ පිළිබ ඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව “පොදු යහපතට සම්බන්ධයෙන්“ නඩුවක් විභාග වේ.
2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ “යහපාලන රජය යටතේ“ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය. මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අඟුරු ගෙන්වීමට එජාප – ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත.