ඉදිරියේදී ඇතිවීමට නියමිත නියං තත්ත්වය හමුවේ ජල සම්පාදන මණ්ඩලය පෞද්ගලික අංශයට විකුණා පාරිභෝගිකයාට අධික ජල බිලක් ගෙවීමේ සූදානමක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ජල සම්පාදන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරෙන අවිධිමත් ටෙන්ඩර් පටිපාටිය හේතුවෙන් මණ්ඩලයට සිදුවන පාඩුව හමුවේ මෙසේ පෞද්ගලික අංශයට ජල සම්පාදන කටයුතු විකුණා දැමීමට තීරණය කර ඇතැයිද ඒ හේතුවෙන් පාරිභෝගිකයාට අධික ජල බිලක් ගෙවීමට ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඊයේ (15දා) කෙළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.
එම මාධ්‍ය හමුවේදී රත්නායක මහතා මෙසේද කීය.
“ඉදිරියේදී නියඟයක් එන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එයට මුහුණ දීම සඳහා මණ්ඩලයට ක්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා මණ්ඩලය පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානම් වෙනවා. මේ වනවිටත් අඹතලේ පොම්පාගාරයට අමතරව වැලිවිට ප්‍රදේශයේ ජල පිරිපහදුවක් අලුතින් ආරම්භ කර තිබෙනවා. දැනට මණ්ඩලය මඟින් අඹතලේ පොම්පාගාරයෙන් ජල ඒකකයක් පාරිභෝගිකයාට ලබාදෙන්නේ රුපියල් 8-10 අතර මිලටයි. නමුත් පෞද්ගලික අංශය මඟින් ජලය ලබාදීමේදී ඒකකයට රුපියල් 35ක මුදලක් අය කිරීමට සූදානමක් තිබෙනවා. එය පාරිභෝගිකයන්ට දරාගන්න බැහැ. දැනට ගෙවන ජල බිල මෙන් තුන් ගුණයකින් අලුත් ජල බිල ඉහළ නඟිනවා. මණ්ඩලයට ක්‍රමවත් මූල්‍ය ප්‍රතිපත්තියක් නැහැ. පෞද්ගලික අංශයට මණ්ඩලය විකුණා දමන්නේ ක්‍රමවත් මූල්‍ය ප්‍රතිපත්තියක් නැති නිසා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ජල ප්‍රශ්නයට මැදිහත් වෙලා ජල සම්පාදන මාණ්ඩලය පෞද්ගලීකරණය කිරීමෙන් වළක්වන්න කියලා.
2020 වනවිට අපේ රටේ පානීය ජල ප්රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවා කියලා රජය ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. අපේ රටේ මුළු ජනගහනයෙන් තවමත් නළ ජලය පරිභෝජනය කරන්නේ 40%යි. 60%කට ජල ප්රශ්නය තිබෙනවා. මේ ආකාරයෙන් ජල සම්පාදන මණ්ඩලය පෞද්ගලීකරණය කළොත් ජල බිල ගෙවාගන්න බැරුව ජනතාව කබලෙන් ළිපට වැටෙනවා. රජය ජනතාවට සහනාධාරයක් දිය යුතුයි. 60%ක නළ ජල පරිභෝජනයක් නැත්තේ දුප්පත්ම මිනිසුන්ට. ජල බිල වැඩි වුණාම කොහොමද ඒ මිනිස්සු තමන්ගෙ ගෙදරට නළ ජලය අරන් බිල් ගෙවන්නේ. ජලය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. මණ්ඩලය දැනටමත් ලාභ උපයනවා. එහෙම තිබෙද්දියි මණ්ඩලය පෞද්ගලික අංශයට විකුණන්නෙ. ඉදිරියේ එන නියඟයට මුහුණදීමට මණ්ඩලයට ශක්තියක් නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණාකර මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. මේ ගැටලුවට නිසි පිළියමක් නොලැබුණොත් ජනතාව සමඟ එක්වී විශාල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් අපි ඉදිරියේදී ගන්නවා.” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.








