FAST NEWS

24×7 Around the Globe

රථ වාහන දඩ මුදල් සම්බන්ධ වාර්තාව 10 වැනිදා කැබිනට්ටුවට..

රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් පත් කළ කමීටුවේ අවසන් වාර්තාව මේ මස 09 වැනිදා සකස් කිරීමට නියමිත බවත් ඉන්පසුව එම වාර්තාව 10 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

රථ වාහන වැරදි 07 ක් සම්බන්ධයෙන් රුපියල් 25,000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට රජය පසුගිය කාලයේ තීරණයකළ අතර, එම තීරණයට ත්‍රි‘රෝද රථ සංගම්, බස් සංගම් හා වෙනත් ප්‍රවාහන සංගම් දැඩි විරෝධතාවක් එල්ල කළේය.

මේ නිසා අදාළ දඩ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්, බස්නාහිර පළාත් භාර උසස් පොලිස් නිලධාරියෙකු සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කෙරිණි.

මේ අනුව එම කමිටුව විසින් මේ සම්බන්ධ සියලුම පාර්ශ්වවලින් කරුණු විමසීම හා යෝජනා ලබාගෙන තිබෙන අතර, මෙම අදහස් ඇතුළත් අවසන් වාර්තාව මේ මස 05 වැනිදා සකස් කිරීමට නියමිතය.

මෙලෙස සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ යෝජනා හා නිර්දේශ සාකච්ඡා කර දඩ මුදල් ඉහළ දැමිය යුතු ආකාරය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

මෙම තීරණයට අනුව මෝටර් රථ ආඥා පනත සංශෝධනය කර නව දඩ මුදල් ක්‍රියාත්මක කිරීමටද රජය සැලසුම් කර තිබේ.